Friday, October 23, 2015

ලෝක සුනඛ සම්මන්ත්‍රණය



කේස් එක බරවී ඇත්තේය. ඊයේ රෑ ගෙයි පිලිකන්න පැත්තෙං ආපු කසු කුසු හඩක් ඇසි මා උඩ ගොස් ඇහැරුණේය. වෙලාව මද්දියම රාත්තිරියේ 12 පසුවී විනාඩි 02 යි තප්පර 43 ක් ලෙස ඔරලෝසුවේ සටහන්වී ද තිබුණේය. තොල කට වියලී කකුල් දෙක මැඩ්ලින් ගහන්න පටන්ගෙන තිබුණේ දැනුන බයකට නෙවෙයි කියා දන්නේ මා සහ උඩ ඉන්න දෙයියා පමණක්මය.

නලලට දැමු දාඩිය ටිකත් සරමේ කොනකින් පිහිදාගෙන ඇදට දමා තිබූ ඇද පොල්ලක්ද රැගෙන පිලිකන්න පැත්තට ගැටුවේ පුරුස ශක්තියද අතට අරගෙනමය. හිං දාඩිය දැම්මේය.. හිං දාඩිය මහ දාඩිය උනේය.. තොල කට වියලි ඉක්කාවක්ද ගියේය. මුලු ඒරියල් එකේම සුනඛයෝ සහ සුනඛියෝ අපේ පිලිකන්නට ලෑන්ඩ් කරලාය. ඇස් දෙක පිසදාගෙනද නැවත බලනකොට මීටර් උනේ ඒරියල් එකේ සුනඛ සෙට් එක විතරක් නොව ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින්ද බලු සේනාවක්ම පැමිණ සිටියේය.

කෝකටත් කියා මම ජනෙල් රෙද්ද ඈත් කර සීන් එක බැලීම සදහා හරි බරි ගැසී සුදානම් උනේය. සුලු මොහොතක් ගතවීමට මත්තෙන් සභාපති කියා බෝඩ් ලෑල්ලක් තබා තිබූ මේසයට හුරු පුරුදු ෆේස්කට් එකක් තියන සුනක පෝතකයෙක් ලෑන්ඩ් කලෙහිය. ඇගේ හීගඩු පිපි මයිල් ඉස්මයිල් උනෙහිය. ඒ අපේ කැහැටු ටොමියාය. ටොමියා සිංහාසනාරූඩ වුවායින් පසු තිබුණු කසු කුසු සියල්ල නොමැතිවී සභාව මීයාට පිම්බා වාගේ උනෙහිය.


ඒත් එක්කම වාගේ ලෝක වාසි බලු ප්‍රජාවගේ යහපත උදෙසා ජිවිතය පුජා කල බල්ලන් සිහි කිරිම සදහා විනාඩි දෙකක නිස්සබ්ධතාවයකින් පසු අල්ලපු ගෙදර බඩා මාමාගේ වල්ටේෂන් වර්ගයේ තද කලු බලු පෝතකයා වන වයිටා සභාව ඇමතිමට පටන් ගත්තේය..

ආයිබෝවන් සකල ලෝක වාසි සුනඛ ප්‍රජාවට. චිරාත් කාලයක් තිස්සේ පැවත ආවාවූද, මෙවර 2775 වෙනි වතාවට 15වෙන් 4රේ ගරු ටොමියා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ලෝක සුනඛ සම්මන්ත්‍රණය“ සදහා ලෝකයේ විවිධ රටවල් වලින් පැමිණි සුනඛ නියෝජිතයන් සාදරයෙන් පිලිගන්නවා.

ෂිහ්..! මට පට්ට ආඩම්බරයක් අපේ කැහැටු ටොමියා ගැන ඇති උනේය. ඒකා එසේ මෙසේ බල්ලෙක් නොව ලෝක බලු ප්‍රජාවගේම ප්‍රධාන කුක්කාය. වහාම ක්‍රියාත්මක වන පරිදි මින් මතුවට මස් කටු මා කෑමට තබාගෙන මස් කෑලි ටික අපේ ගරු ටොමියා මහතාට ලබා දීමට ඒකමතිව තිරණය කලෙමි.

එක එක සුනඛ මහත්ම මහත්මීන්ගේ එක එක කතා වලින් පස්සේ ආවේ ගරු ටොමියා තුමාගේ සභාව ඇමතිමයි.

මාගේ හිත මිත්‍ර සකල ලෝක වාසි සුනඛ මහත්ම මහත්මීනි. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බලුකිස්තානයේ පැවති 2774 වන සම්මේලනයට සහභාගී වුවාටත් වඩා බලු ප්‍රජාවක්  2775 වන ලෝක බලු සම්මන්ත්‍රණය සදහා සහභාගි වීම පිළිබදව. ඉතින් සහෝදර සහෝදර වරුනි මේ වෙනකොට අපේ බලු ප්‍රජාවට ලෝකයේ භයානකම සත්ත්ව කොට්ටාසය වන මනුසතාගෙන් දැඩි තර්ජනයකට මුහුණ පෑමට සහ විවිධ අපකිර්තින්ට ලක්වීමට සිදුවී තිබෙනවා. ඒ නිසා සකල ලෝක බලු වාසින්ගේ ප්‍රධානියා වශයෙන් අපිට මුහුණ පෑමට සිදුව ඇති කුඩම්මාගේ සැලකිලි වලට විසදුමක් ලබා ගැනීම සදහා අදහස් හා යෝජනා ලබා ගැනීම සදහා අදාල ප්‍රධාන ගැටළු ඔබ වෙත ඉදිරිපත් කරනු ලබනවා.


1.         මිනිසා විසින් කරනු ලබන චාටර් පජාති වැඩ වලට අපේ නම් ඇදා ගැනීම මා දැඩිසේ හෙලා දකිනවා. උදාහරණයක් කිවොත් මිනිසා කරනු ලබන හැම අසමජ්ජාති වැඩකටම ‘ඒක මහ බලු වැඩක්‘ ලෙස අර්ථගැන්වීම විදහා පාන්ඩ පුලුවන් ගරු සුනඛ සුනඛියනි.

2.         වර්ථමානයේද් සකල ලෝක වාසි සුනඛ ප්‍රජාවට නිදහසේ ශරිර කෘත්‍ය ඉටු කර ගැනීමට ඇති අවස්ථාව සෑම අතින්ම ඇහිරි තිබෙනවා බලු මහත්ම මහත්මීනි. ගිය සතියේ අගහරුවාදා මධ්‍යාහනයේදී අප සංසදයේ ගරු කාරක සභික බිං බල්ලා තුමා ශරීර කෘත්‍ය ඉටු කරමින් සිටියදී හන්දියේ කඩේ කලු මුදලාලි විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් නිසා අද මේ සම්මේලනයට සහභාගි නොවූ බැව්ද ඉමහත් සංවේගයෙන් යුතුව දන්වා සිටිනවා.

3.         ඒ වගේම සුනඛ මහත්ම මහත්මීනි. අපි ගරු කටයුතු බලු ප්‍රජාවක් වශයෙන් අපේ සුනඛ ප්‍රජාව වර්ධනය කල යුතුයි. එහෙත් මේ දරුණු මනුසතා හේතුවෙන් වර්ථමානයේදි නිදහසේ අපගේ ප්‍රජනන ක්‍රියාවලියද සිදු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම බොහොම සංවේගයෙන් මට කියන්ඩ සිදු වෙනවා ගරු සුනඛ මහත්ම මහත්මීනි අපගේ ප්‍රජනන ක්‍රියාවලින් අතර තුර ගල් ප්‍රහාර වලට ලක්ව තුවාල සිදුවූ සහ ආබාධිත තත්වයට පත්වූ සුනඛ සුනඛියන්ගේ ප්‍රමාණය 174,367 ඉක්මවනවා.

4.         අනික් දේ තමයි මිනිසාගේ නිවෙස් වල ඇති කරන බලු ප්‍රජාවට ඇතිවි තිබෙන ඉමහත් ගැටලුවක් වූ බලු කූඩු උවදුර. මෙම බලු කූඩු උවදුර හේතුවෙන් අපගේ ප්‍රභු බලු ප්‍රජාවගේ නිදහස සහ භෞමික අඛණ්ඩතාවයට දැඩි පහරක් එල්ල වී තිබෙනවා.


ඉතින් ගරු කටයුතු සුනඛ මහත්ම මහත්මීනි මා මේ ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කල ගැටලු සදහා ඔබතුමන්ලාගේ වටිනා අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙනවා කියලා කියමින් කතාව අවසන් කලේ සියලුම බලු බල්ලන්ගේ ප්‍රශංසා මධ්‍යෙයේය.



ඉන්පසු එලැබි අදහස් හා යෝජනා වාරයේදි අංක 1 යන ගැටළුවට අදහස් දැක්වුයේ ලංගඑන්තයේ සිට සම්මේලනයට පැමිනි බූල් බල්ලෙක්ය.

ගරු සභාපති තුමනි. ඔබ තුමා අංක 1 යටතේ දැක්වු ගැටලුවට පිළියමක් වශයෙන් මා යෝජනා කරනවා මිනිසා අප හට කරන නිග්‍රහයන් නවතන තුරු කිසිම මිනිසෙකුට ආරක්ෂාව ලබා දීම නතර කිරීමට මා යෝජනා කරනවා.

වැඩි ජන්ද 75කින්  අදාල යෝජනාව සම්මත වූ අතර, අංක 02 ගැටලුව වෙත සභාව යොමුකලේ අපේ ගරු ටොමියා තුමාය.

මිනිස්සු පාවිච්චි කරන ටොයිලට් බලු ප්‍රජාව තම ශරීර කෘත්‍ය සිදු කිරිම සදහා භාවිතා කිරිමටත්, රාත්‍රි කාලයේදි මිනිසාගේ නිවෙස් ඉදිරිපිට තණකොල වවා ඇති ස්ථානයන්හි අදාල කෘත්‍ය සිදු කිරිමටත්, ගරු කාරක සභික බිං බල්ලා තුමාට ගල් ප්‍රහාරයක් එල්ල කල කලු මුදලාලි හට ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කිරිමටත් ප්‍රථම වතාවට බලු සම්මේලනය නියෝජනය කල තරුණ බලු මහතෙකු යෝජනා කල අතර, ඒකමතිකව අපේ ගරු ටොමියා තුමා විසින් ස්ථිර කරන ලද්දෙන් මීලග ගැටළුව වෙත යොමු විය.

තුනවන ගැටළුව සාකච්චා කරන්ඩ පටන් ගත්තා විතරයි මුලු සම්මේලනයම එකම ගාලගෝට්ටියක් බවට පත්වූ අතර, විනාඩි 10කට  ගරු ටොමියා තුමා විසින් කල් තැබ්බේය. විනාඩි 10 කට පසු තෙවන ගැටළුවට දිංඉයාවේ සිට පැමිණි විද්වත් නකුටු බල්ලාගේ යෝජනාව වූයේ මිනිසුන් විසින් බලු ප්‍රජාවගේ අහවල් ක්‍රියාවලියට බාධා කරන්නා සේම බාධා කල යුතුයි කියාය. එමෙන්ම අදාල ක්‍රිියවලින් සිදුවනවා යයි සැක සහිත නිවෙස් ලගට බලු සේනාවක් ගොස් උඩුබිරීමටත් බලු ප්‍රජාවගේ අදාල ක්‍රියා වලියට ගල් ප්‍රහාඑ එල්ල කරන මිනිසුන්ගේ අධි ආරක්ෂිත කලාපයන්ට ප්‍රහාර එල්ල කිරිමට යෝජනා කරනවා යාන්තමට ඇසුනා මතකය.

හිං දාඩිය සමග හිස කරකැවිල්ලක් වගේ දැනුන නිසා ෂේප් එකේ 15න්  හතරේ ඇදට ලෑන්ඩ් කලේය.

4 comments:

  1. හොඳ යෝජනා ටිකක් සම්මත වෙලා තියෙනවා. අර බල්ලන්ගේ අර කර්ථව්‍යට බාධා කරන එක ගැන සාකච්චා උන එකත් හොඳයි. ටොමියාට මගේ සුභ පැතුම්. අර චෝගම්ද මොකද්ද එකේ සභාපතිකම ලැබුණට පස්සෙ අපේ බල්ලෙකුට ජාත්‍යන්තර සමුළුවක සභාපති කම ලැබුනමයි. :)

    ReplyDelete
    Replies
    1. අහිංසක මම නං ඔව්වා දන්නෑ ඔන්න...

      Delete